හොර ආලේපන අසුරද්දී මාට්ටු


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කාන්තාවන්ගේ සම පැහැපත් කරන ආලේපන ක්‍රීම් වර්ග යැයි පවසා මෙරට නිෂ්පාදනය කරන ලද ප්‍රමිතියෙන් තොර කීම් වර්ග ඇසුරුම් කරන කොටහේන එල් බි පෙරේරා මාවතේ ස්ථානයක් වැටලූ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ හදිසි වැටලීම් ඒකකය කියයි.

ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග ඇසුරුම් කරන බවට පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.

පකිස්ථානයෙන් ආනයනය කරන ලද ක්‍රීම් වර්ග යැයි පවසා මෙරට නිෂ්පාදනය කරන ලද කීම් වර්ග මෙම ස්ථානයේ ඇසුරුම් කරන බවට වැටලීමේදී අනාවරණය වූ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරියෙක් පැවැසීය.

වැටලීම කරන අවස්ථාවේදී සේවිකාවන් පිරිසක් කීම් වර්ග ඇසුරුම් කර සිටි බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

එම ස්ථානයේ තිබූ ක්‍රීම් වර්ගවලට මුද්‍රා තබා හිමිකාරිය සහ තවත් පුද්ගලයකුට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය කියයි.